|
සදන්නට හැකි නම් ඇය වෙනුවෙන් රැකවරණයේ සෙවණක් |
|
|
|
|
2010 අගෝස්තු 23 වෙනි සදුදා, 17:19 |
|
(කොළඹ-ලංකාපුවත්) ඇෆ්ගනිස්ථානයේ එක් තරුණියක් තම සැමියාගේ කෲරතර වධ හිංසා ඉවසාගත නුහුණු තැන නිවසින් පළා ගියාය. අවාසනාවට අතරමඟ දී ඇය නැවත සැමියාගේම ග්‍රහණයට පත් වූවාය. ඇයට ලැබුණු දඬුවම ඇයගේ කන් සහ නාසා කපා දැමීමයි. ශරීරයේ අංග ඡේදනයෙන් පසුව ඇය මිය යනු පිණිස මහමඟ දමා ගොස් තිබුණි.මෙවර ටයිම් සඟරාවේ අගෝස්තු මස කලාපය සැරසී තිබුණේ නාසය සිඳහල මෙම රූමතියගේ සේයාරුවෙනි. ඇය පිළිබඳව ලෝකයට කරුණු අනාවරණය වූයේ ඇය ඇයගේ නාසය නැවත සකස් කිරීම සඳහා ඇමරිකාවට පැමිණ සිටිය දීය.
මිහිමත මනුෂ්‍යවාසය ස්ථාපිත වූ දා පටන් ලොව අනෙකුත් දේවල් පිළිබද ව මෙන්ම ස්ත්‍රීත්වය පිළිබද ව නිර්වචනය නිර්මාණය කළේ ද පිරිමියායි. ගැහැණිය සංස්කෘතික සත්ත්වයෙකු ලෙස නිර්මාණය වී ඇත්තේ පිරිමියා විසින් නිර්මාණය කළ සංස්කෘතිය තුළය. එබැවින් ගැහැණිය ජීවත් වන්නේ පිරිමින් නිර්මාණය කළ සමාජ සන්දර්භයකය.
මේ හේතුව නිසාම ඇයට සමාජයේ ජීවත් වීමේ දී විවිධ තහංචි සහිත සහ සීමා සහිත පරිසරයක් තුළ ජීවත් වීමට සිදු වී තිබේ. ස්ත්‍රිය ද සමාජ සත්ත්වයෙකු වුව ද ඇයට එවැනිම සමාජ සත්ත්වයෙකු වන පිරිමින් මෙන් උප රිම සුරක්ෂිතතාවයකින් ජීවත් විමට හැකියාවක් නැත.
ජීව විද්‍යාත්මකව ගතහොත් ස්ත්‍රී පුරුෂ ඉන්ද්‍රීය පද්ධතියෙහි සුවිශේෂ වෙනස්කම් පවතී. එහෙත් සමාජයීය සත්ත්වයෙකු ලෙස මිනිස් වර්ගයා භුක්ති විඳින සියලු ආකාරයේ අයිතීන් බුක්ති විඳීමට පිරිමින්ට මෙන් ස්ත්‍රීන්ට ද නෛතික බාධාවක් නැත. නෛතික තත්ත්වය එලෙස පැවතිය ද සමාජ ජීවිතය තුළ දී ඇයට එවැනි නිදහසක් බුක්ති විඳිය නොහැකිය.

එදිනෙදා සාමාන්‍ය ජීවිතය ගත කිරීමේ දී ස්ත්‍රියට මුහුණ පාන්නට සිදුවන විවිධ සිදුවීම් විග්‍රහ කර බැලීමේ දී කාන්තාවන්ට එරෙහි හිංසනය ක්‍රියාත්මක වන අයුරු අවබෝධ කර ගත හැකිය.
එක්සත් ජාතීන්ගේ නිර්වචනයට අනුව “පොදු හෝ සමාජ ජීවිතයේ දී ලිංගිකත්වය පදනම් කර ගනිමින් කාන්තාවක් ශාරීරික, ලිංගික හෝ මානසික වශයෙන් පීඩාවට පත් කිරීම, බිය වැද්දවීම, බලහත්කාරකම් කිරීම, අත්තනෝමතික ලෙස ඇයගේ නිදහස අහිමි කිරීම කාන්තා හිංසනය නම් වේ."
1993 දී සම්මත කර ගත් “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ ප්‍රකාශනය” හි දක්වන පරිදි බොහෝ විට කාන්තාවන් මෙලෙස හිංසනයට ලක් වන්නේ තමන් හොඳින් දන්නා හඳුනන පුද්ගලයන් අතිනි. සැමියා,පෙම්වතා හෝ පවුලේ ඥාතින් මේ අතර ප්‍රමුඛ වේ.මේ අතර කිසියම් රාජ්‍යයක පවතින සම්ප්‍රදායන් සංස්කෘතීන් සහ යුධමය තත්ත්වයන් හේතුවෙන් ද කාන්තාවන් හිංසනයට ලක් විය හැකිය.
සමහර ඉතිහාසඥයන් විග්‍රහ කරන පරිදි කාන්තා හිංසනය පිළිබඳ ඉතිහාසය කාන්තාවන් පෞද්ගලික දේපළක් ලෙස සැලකීමේ හා වෙනත් කාන්තාවකට හෝ පුරුෂයෙකු යටත්ව සිටි ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නකි.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ තිබෙන අවාසනාවන්තම ස්වභාවය නම් කාන්තාවන් බොහෝමයක් හිංසාවන්ට ලක්වන්නේ කායිකව නොව මානසිකව සහ වාචිකව විමයි.සාක්ෂි හෝ තහවුරු කිරීමට කිසිඳු අවස්ථාවක් නොතිබීම නිසා මෙවැනි හිංසන වලට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වේ. එහෙත් කායික වාචික හිංසන හේතුවෙන් සිදුවන බලපෑම නිසා කාන්තාවන් දැඩි අපහසුතාවයන්ට පත් වේ.
සංස්කෘතිකමය හා සම්ප්‍රදායයන් මඟින් ද කාන්තාවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවනු දැකිය හැකිය. සැමියා මිය ගිය පසු බිරිඳ ද එම සෑයටම පැන දිවි තොර කර ගැනීමේ සිරිතක් ඉන්දියාවේ පවතී.මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ.එහෙත් බිරිඳ මිය ගිය විට සැමියා දිවි පුදන සිරිතක් කිසිඳු සංස්කෘතියකින් වාර්තා නොවේ.

එසේම දෑවැද්ද සම්බන්ධ ගැටලු හේතුවෙන් ද ඉන්දියාවේ සහ පාකිස්ථානයේ කාන්තාවන් සිය දිවි නසා ගැනිමේ අවස්ථා වාර්තා වේ. තවද ලොව සමහර රටවල සංස්කෘතීන් මඟින් පණවා තිබෙන ස්ත්‍රී ලිංගික අවයව ‘චර්ම ඡේදනය’ නම් චාරිත්‍රයක් මඟින් ඉවත් කිරීමේ ක්‍රියාද ඉතාමත් අමානුශික සහ පිළිකුල් සහගතය. මෙවැනි කෲර චාරිත්‍ර වලට මුහුණ දීමෙන් මිය යන හෝ අංග විකල වන කාන්තාවන් කෙතරම් ලොව සිටිය ද ඒ සම්බන්ධයෙන් ඇත්තේ ඉතාමත් සීමිත වාර්තාවන්ය.
ගෘහස්ථ කාන්තා හිංසනය පිළිබඳ ව රටවල් 10 ක් ඇසුරින් ලෝක සෞඛ්‍ය සංවිධානය කළ පර්යේ ෂණකට අනුව කාන්තාවන් 15% ත් 75% ත් අතර ප්‍රමාණයක් නිවසේ දී සැමියා හෝ සහකරු අතින් කායික හෝ ලිංගික හිංසනයට ලක් ව තිබේ. එසේම 4% ත් 12 % ත් අතර කාන්තාවන් ප්‍රතිශතයක් ගැබිනි සමයේ දී කායිකව පීඩනයට ලක් වී තිබේ.
පවුලේ ගෞරවය නාමයෙන් වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් 5000 ක් පවුලේ සාමාජිකයන් විසින් මරා දමනු වාර්තා වේ. කාන්තාවන් 1/5 ක් සහ පිරිමි 1/10 ක් කුඩා අවධියේ දී ලිංගික අපයෝජනයට ලක් වන අතර මෙලෙස කුඩා අවධියේ දී අපයෝජනයට ලක් වන බොහෝ දෙනෙක් ජීවිතයේ ඉතිරි කාලයේ දී ද එවැනි අත්දැකීම් වලට මුහුණ දෙන බව වාර්තා වේ.
කාන්තාවන් සම්බන්ධයෙන් වන හිංසන ක්‍රියාවන් වඩාත් බහුලව වාර්තා වන තවත් අවස්ථාවක් වන්නේ යුධ ගැටුම් සහ හමුදාමය ක්‍රියාමාර්ග පවතින අවස්ථාවයි. විශේෂයෙන් 2 වන ලෝක යුධ සමයේ ජපන් අධිරාජ්‍යයාගේ සෙබළුන්ට ලිංගික ආස්වාදය ලැබීම සඳහා ‘සැනසිලි කඳවුරු’ නමින් පැවති ගණිකා මඩම් වල ඉතා ම්ලේච්ඡ ලෙස කාන්තාවන් දූෂණයට ලක් කිරීම් පිළිබඳ වාර්තා වේ. එහිදී විවිධ ජනපද වලින් පැහැර ගන්නා කාන්තාවන් මෙම ගණිකා මඩම් වලට ගෙනවිත් බලහත්කාරයෙන් දිනකට කීප වරක් ඇයගේ ජීවිතය කෙළවර වන තෙක් හෝ හමුදා භටයන්ගේ වුවමනාවන් සන්සිඳවා ගැනීම සඳහා දූෂණයට ලක් කළ අවස්ථා තිබී ඇත. මෙලෙස සේවයේ යොදවා ඇති කාන්තාවන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 100,000 සිට 200,000 අතර සංඛ්‍යාවක් වන බව සංඛ්‍යාලේඛන වාර්තා කරයි.
යුධමය වාතාවරණයන් තුළ දැඩි ලෙස පීඩනයට ලක් වන්නේ කාන්තාවන් සහ ළමුන්ය. දශක 03 ක් පුරා උතුරේ පැවති යුද්ධයෙන් දරුණු ලෙස පීඩනයට ලක් වුයේ කාන්තාවන්ය. 2004 වසරේ ඇති වු සුනාමි ව්‍යසනය හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නොයෙකුත් ගැහැට වලට මුහුණ දුන්හ. ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් වන දත්ත සලකා බැලීමේ දී පෙනෙන්නේ කාන්තා හිංසනය දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු ගැටලුවක් බවට පත් ව ඇති බවයි.
ලිංගික පීඩා,දූෂණය කිරීම්, කිහිප දෙනෙක් විසින් දූෂණයට ලක් කරනු ලැබීම් , ව්‍යාභිචාරය සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මේ අතරින් සුලභ හිංසනයන්ය.එසේම ලිංගිකව අතවරයට ලක් කිරීම් වැනි විවිධ හිංසන මේ යටතට අයත් වේ. ආර්ථික සහ සමාජ අවකාශයන් හි දී ලිංග භේදය බලපෑම හේතුවෙන් කාන්තාවන් පීඩාවට ලක් වීම හෝ ඔවුන් සමාජයීය සබඳතා වලින් සහ සමාජ පරිසරයෙන් වෛරී සහගත ලෙස ඈත් වීම සිදු විය හැකිය.
මහමග පොදු ප්‍රවාහන සේවයේ ගමනාගමනයේ දී පවා නොයෙක් තාඩන පීඩන උසුළු විසුළු බලහත්කාරකම් වලට මුහුණ දීමට නිරන්තරයෙන් ඇයට සිදුවේ. කිසියම් රැකවරණයක් නැතිව ගමන් කිරීම අවදානමට බොහෝ කාන්තාවෝ මුහුණ දෙති. පැරණි ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මැණිකක් අත්ල මත තබා ගෙන දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කිසිඳු උපද්‍රවයකින් තොරව ගමන් කිරීමේ හැකියාව තිබූ බවට කියවේ.
විවෘත ආර්ථිකයට ශ්‍රී ලංකාව ඇතුළු වූ පසුව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට ද විවිධ රැකියා සඳහා ඇතුළත් වීමේ අවස්ථා ව හිමිවූ බව සත්‍යයක් වන නමුත් ලංකාවේ ආර්ථික සමාජයීය ක්ෂේත්‍ර වල තීරණ ගන්නා මට්ටමේ කාන්තා සහභාගීත්වය අතළොස්සකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක ප්‍රතිශතයක් කාන්තාවන් වන නමුදු දේශපාලන ආර්ථික සමාජයීය සංස්ථා වල කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමක නැත.
ශ්‍රම බලකායෙන් 1/3 ක් කාන්තාවන් වන අතර රටට ඉතා විශාල විදේශ විනිමයක් ලබා දෙන විදේශ රැකියා වල නියුතු කාන්තා ශ්‍රම බලකාය ද අමතක නොකළ යුතුය. රැකියා ස්ථානයේ ආර්ථික සූරාකෑම් වලට ලක්වනවා මෙන්ම විදෙස් රැකියා වල නියුතු කාන්තාවන් බරපතළ ලෙස ආර්ථික සූරා කෑම් මෙන්ම ලිංගික සූරා කෑම් වලට ද ලක් වේ.
නිවාස,ඉඩම් හා රැකියා අවස්ථා ලබා ගැනීමේ දි කාන්තාවන්ට සම අවස්ථා අහිමි වීම ද ඇය ආර්ථික වශයෙන් මුහුණ දෙන තවත් ගැටලුය. වතුකරයෙ හි , ඇඟලුම් කර්මාන්තශාලා වල ඇයගේ දායකත්වය ද ඉතාමත් ඉහළය. එසේම නිවාස තුළ වැටුපක් නොලබා ඇය කරන අතිමහත් සේවය ද ඇගයීමට ලක් වන්නේ කලාතුරකිනි.
තවමත් ‘කන්‍යාභාවය’ ශ්‍රී ලංකාවේ විවාහ දිවියට ඇතුළත් වන කාන්තාවන්ට තීරණාත්මක සාධකයකි. ඒ පිළිබඳ ව වන සම්ප්‍රදායික මති මතාන්තර තවමත් සමාජගතව පවතී. බොහෝ කාන්තාවන් කන්‍යාවක වුව ද විවාහයට ඇතුළත් විමේ දී කන්‍යාභාවය තහවුරු කිරීමට නොහැකි වීමෙන් අපහසුතාවය ට පත් වන අවස්ථා තිබේ. සමාජ අපවාදය හේතුවෙන් මෙවැනි සිදුවීම් තනිවම දරා ගන්නා කාන්තාවෝ එමට ව අප සමාජයේ සිටිති.
කෙසේ වෙතත් ඕනෑම ආකාරයක කාන්තා හිංසනයකට එරෙහි නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නෛතික වටපිටාවක් ශ්‍රී ලංකාවේ ඇත. ඒ සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥපත්තියට බැඳී සිටියි. එහෙත් කාන්තා උපදේශනය සම්බන්ධයෙන් වන පුළුල් සහ නිශ්චිත වැඩපිළිවෙළක අවශ්‍යතාවය පවතියි.
විශේෂයෙන් උතුරු නැගෙනහිර පුනරුත්ථාපන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමේ දී කාන්තා ගැටලු සහ ශුභ සාධනය ඉලක්ක කර ගත් වැඩසටහන් කෙරෙහි අවධානය යොමු වීම අත්‍යවශ්‍යය. දශක ගණනාවක් පැවති යුද්ධය හේතුවෙන් ඔවුන්ට අහිමි වූ සමාජ ආර්ථික සංස්කෘතික ජීවිතය නැවත ලබා දීම ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් වන වැදගත් පියවරකි.


|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 අගෝස්තු 23 වෙනි සදුදා, 18:00 )
|
|
|
|
<< ආරම්භය < පෙර 1 2 3 4 5 6 7 8 9 10 ඊළඟ > අන්තය >>
|
|
පිටුව 1 / 37 |