|
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ලබාගැනීමට තවදුරටත් චීනය සූදානම් |
|
|
|
|
2010 සැප්තැම්බර් 01 වෙනි බදාදා, 13:21 |
|
(කොළඹ, ලංකාපුවත්) – සංචාරක, වෙළෙඳ, බලශක්ති ක්ෂේත්‍රයන් සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ලබාගැනීමට සූදානම් බව ශ්‍රී ලංකාවට පැමිණ සිටින චීන ජනරජයේ යුනාන් ප්‍රාන්ත ආණ්ඩුකාර ක්විං ගුවාන්රොන් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණ සිටින චීන දූත පිරිස ඊයේ(31) විසුම්පාය අග්‍රාමාත්‍ය නිල නිවසේදී අගමැතිතුමන් හමුවී දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන ලදි.
එම දූත පිරිස එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය දීමට චීන රජය සූදානම් බවය.
විශේෂයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් අතර සංචාරක ක්ෂේත්‍රයට අදාළ අළුත් ඉසව් කරා යන ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය යුනාන් ප්‍රන්ත ආණ්ඩුකාරවරයා එහිදී පෙන්වා දෙනු ලැබීය.
මෙම හමුවේදී අගමැති දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ ප්‍රධානතම හවුල්කරුවෙකු බවට චීනය පත්ව සිටීම පිළිබඳ ඉමහත් ප්‍රසාදය පළකරන බවය. නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය, හම්බන්තොට වරාය, තෙල් ප්‍රවාහන නෞකා සඳහා හම්බන්තොට වරාය පහසුකම් සැපයීම, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ මත්තල ගුවන් තොටුපල වැනි යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා සිදුකරන දැවැන්ත ව්‍යාපෘති, චීන රජයේ අනුග්‍රහය සතුව සිදුකරන ප්‍රධානතම ව්‍යාපෘතීන් අතරවේ.
ශ්‍රී ලංකාවේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 100කට අධික පිරිසකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට චීන රජය මෙහිදී එකඟත්වය පළ කළේය.
එමෙන්ම ඊස්වන් එයාර්වේස් සමාගම මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් සේවයක් ආරම්භ කිරීම සහ යුනාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා එම ව්‍යාපෘතිය යථාර්තයක් බවට පත්කරලීම සඳහා ගත් පුද්ගලික උත්සහය අගය කරන බවද දි. මු. ජයරත්න මහතා පැවසීය.
එම ගුවන් ගමන් සේවය ඇරඹුමත් සමඟ ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන වෙළෙඳ කටයුතු සසහ සංචාරක ව්‍යාපාරය සුවිශේෂී ලෙස වර්ධනයක් අත්කරගනු ඇත.
හම්බන්තොට වරාය නිල වශයෙන් විවෘත කිරිමේ සමාරම්භක උළෙල නොවැම්බර් 19වෙනිදාට යෙදී ඇති බවත් එම උත්සවයට සහභාගී වීම සඳහා චීන ජනාධිපති හු ජිංතාවෝ මහතා හට ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් ඇරයුම් කළ බවද මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
|
|
අවසන් යාවත්කාලීන කිරීම ( 2010 සැප්තැම්බර් 02 වෙනි බ්‍රහස්පතින්දා, 08:40 )
|