|
තෙවන කාර්තුවේදි කෘෂිකර්මාන්ත අංශයේ පසුබෑමක් |
|
|
|
|
2009 දෙසැම්බර් 21 වෙනි සදුදා, 16:39 |
|
(කොළඹ, ලංකාපුවත්, දෙසැම්බර් 21) මේ වසරේ තෙවන කාර්තුවේදි කෘෂිකර්මාන්ත අංශය සියයට 0.9ක පසුබෑමක් වාර්තා කළ බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නාලනී කුමාරසිංහ මහත්මිය පවසා සිටියේ, 2008 වසරේ යල කන්නයේ සියයට 51.1කින් වර්ධනය වූ වී නිෂ්පාදනය 2009 යල කන්නයේදි සියයට 28.4ක් ලෙස පහළ යාම මේ සඳහා හේතු වූ බවයි.
2009 යල කන්නයේදි වී නිෂ්පාදනය පහළ ගියද එය 1952 – 2009 කාලය කුළ යල කන්නයේ වාර්තා වූ දෙවැනි ඉහළම වී නිෂ්පාදනය බවත් එබැවින් මෙම අඩුවීම පසුබෑමක් ලෙස සඳහන් කළ නොහැකි බවත් එතුමිය ප්‍රකාශ කළාය.
මෙම කාර්තුව තුළ තේ, රබර් හා සුළු අපනයන බෝග නිෂ්පාදනය පිළිවෙලින් සියයට 4.8කින්, 3.4කින් හා 0.5කින් අඩු වී ඇති අතර ධිවර, වෙනත් ආහාර බෝග, සත්ව නිෂ්පාදන හා පොල් නිෂ්පාදන එකතු කළ අගය සියයට 12.7කින්, 7.3කින්, 6.5කින් හා 2.1කින් වර්ධනය වී තිබේ. ධීවර කර්මාන්තය හැර කෘෂිකර්මාන්ත අංශයේ පසුබෑම සියයට 2.1ක් බවත් කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.
2008 වර්ෂයේ අවසානයේ සිට පැවති වියළි කාලගුණය හේතුවෙන් වී සහ තේ නිෂ්පාදනය පසුබෑමකට ලක් විය. 2008 වර්ෂයේ ඇරඹි ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් අපනයන මිල ගණන් පහළ යාම අපනයන හා බැඳුන කෘෂිකාර්මික බෝග නඩත්තු කටයුතු වලට අහිතකර ලෙස බලපෑ අතර එය තේ, රබර් හා සුළු අපනයන බෝග එකතු කළ අගයන් පහළ යාමට හේතු වී ඇත.
උතුරු නැගෙනහිර ආරක්‍ෂක තත්වය යහපත් වීම, ගොඩ ගොවිතැන් බෝග හා එළවළු වගා බිම් ප්‍රමාණය ඉහළ යාම, කෘෂිකර්මය හා ධීවර අංශය සංවර්ධනය කිරීමේ රජයේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වීම කෘෂිකර්මාන්තයේ ක්‍රියාකාරිත්වයට ධනාත්මත බලපෑමත් ඇති කළ බවත් කුමාරසිංහ මහත්මිය අනාවරණය කළාය.
|